Tuesday, November 29, 2016

බුද්ධාවවාදයෙහි පිහිටා සිවුරු හොරෙකුටත් මෙත් වැඩූ හිමිනමක්




සිංහලද්වීපයෙහි වනාහි මහාතළාක නම් වෙහෙරක් විය. එම විහාරයෙහි එක් අභය නම් ස්ථවිර නමක් පර්යාප්තිධර වූයේ ත්‍රිපිටකධාරී වූයේ ග්‍රාමාන්ත සේනාසනය අත්හැර එයට ආසන්නයෙහි ම එක් වන ලැහැබෙක කරන ලද පන්සලක වාසය කරයි. ඒ ස්ථවිරතුමා මෑත භාගයෙහි ආරණ්‍යක මහා අභය ස්ථවිර යයි ප්‍රකට විය. ඉක්බිති එක් කාලයක ඒ උවසුවෙක් උන්වහන්සේ කරා එළැඹ වැඳ බණ අසා පැහැදුණු සිත් ඇත්තේ උන්වහන්සේ යාච්ඥා කොට දොළොස් අවුරුද්දක් සිවුපසයෙන් පිළියම් කෙළේය. හෙතෙම තෙරුන්ට සිවුරු පිණිස කලින් කලට සළු දෙයි. දෙන ලද දෙන ලද සළු ඒ ඇතුළු ගෙහි ම හරන්තික නම් එක් හොරෙක් රාත්‍රියෙහි ම ගොස් ගෙන යයි. ස්ථවිරයන් වහන්සේ දිරුණු සිවුරු ඇත්තේ ම වෙයි. ඉක්බිති එක් දිනක් උපාසක තෙම පන්සලට ගොස් තෙරුන්ගේ දිරාගිය සිවුරු දැක සිවුරු පිණිස සළු දී මෙසේ සිතීය. මා විසින් වනාහි මේ තෙරුන්ට සිවුරු පිණිස බොහෝ සළු දෙන ලදි. සිවුරු කොට නො පොරවා රැස් කිරීමක් හෝ අන් අයකුට දීමක් හෝ නො පැනේ. මෙයට කරුණක් විය යුතු යයි කිට්ටු ස්ථානයක මඟින් ඈත් ව සැඟවී යන්නවුන් හා එන්නවුන් පරීක්ෂා කරමින් සිටියේය.

Sunday, November 6, 2016

ධර්මශ්‍රවණයේ හා සත්‍යක්‍රියාවේ ආනුභාව බලයෙන් උග්‍ර සර්ප විෂ බැස්සූ හිමිනමක්



සිංහලද්වීපයෙහි මාගම නොයෙක් සිය ගණන් භික්ෂූන් වහන්සේ වාසය කරන මහාවාපි නම් වෙහෙරක් වීය. එකල එහි අවුරුදු පතා ආර්යවංශ ධර්ම දේශනාව පවත්වන්නේය. දුර සිට ම බොහෝ මිනිස්සු පැමිණෙති. මහාජන සමාගමය වෙයි. එකල්හි කුඩ්ඩරජ්ජ විහාරවාසී එක් මහ තෙරනමක් මමත් අරියවංස ධර්මය ශ්‍රවණය කරමි යි එහි ගොස් අවකාසයක් නො ලැබ, මහ පිරිස් කෙළවර මළුවෙන් පිටත තණ පඳුරෙන් යුත් අවකාශ ස්ථානයක් ලැබුවේය. හෙතෙම එහි සිට මුළු රාත්‍රියෙහි ඒ ධර්මය අසමින් සොම්නසට පත්වූයේ, ලොමු ඩැහැගත් සිරුර ඇත්තේ විය. ඒ තණ පඳුරෙහි එක් පොළඟෙක් වසයි. ඉක්බිති හෙතෙම එයින් නික්මී තෙරුන්ගේ කුකුල් අතරට පිවිසුනේ දළ හතරක් ඔබා පිටි පිඩ දෂ්ට කළේය. තෙරුන් වහන්සේ ඒ කරුණ දැනගෙන ඉදින් මම මෙතැනින් පහවෙම් ද, බණ ඇසීමට අනතුරක් වන්නේ යයි අත බහා සර්පයාගේ ශීර්ෂය දැඩි කොට ගෙන වහන් පසුම්බියෙහි බහා කට බැඳ එක් පසෙක තබා ධර්මය ඇසුවේය.

දෂ්ට විෂය නැඟීලා පුතු මරු මුව සිටිද්දීත් සසර බිය දැඩි කොට බණ ඇසූ මවක්


ලක්දිව රෝහණ (රුහුණු) ජනපදයෙහි මහාග්‍රාමයෙහි භික්ෂු භික්ෂුණීන් සිය ගණනකින් ගැවසුණු රන් රුවන් ආදි වස්තූන්ගෙන් ද සමන්විත, ප්‍රභූ ජනයන්ගෙන් ගැවසුණු, කන්කලු ගී හඬින් නිතර මිනිසුන්ගේ සිත් සතුටු කරවන, දන්දීම් නමැති ක්‍රීඩාවන්හි නියැලුණු, නොයෙක් ජනයාගෙන් හෙබි, තුනුරුවන්ට පූජා කිරීමෙහි නියැලුණු, සැදැහැති කුලයන්ගෙන් ගැවසුණු, ඒ ඒ තැන හැසුරුණු, දහම් සොඬ මිනිසුන් විසින් සාධු නාදයෙන් යුත් මාගම නම් රමණීය එක් ගමක් විය.

ධර්මශ්‍රවණයේ බලයෙන් කර අග දී ම රහත් බව ලත් පෙර භවයේ මුව පොව්වෙක්


සිංහලද්වීපයෙහි වනාහි උද්දලොලක විහාර (උදල් කුළු වෙහෙර) නම් රමණීය එක් විහාරයක් වී ය. එකල්හි විහාරයට නුදුරු සමීප වනයෙහි බොහෝ මුව ඌරෝ වාසය කරති. ඉක්බිති එක් ගමෙක වැදි පුත්‍රයෙක් එහි බොහෝ ඌරන් මුවන් දැක එක් දිනක් එකපසෙක්හි කොටුපතක් කොට වන කෙළවර පත් එලා, දුනු හී ගෙන මුවන්ගේ පැමිණීම බලමින් කොටුවෙහි සිටියේය. ඉක්බිති එක් මුවෙක් එහි ගොදුරු ගෙන පැන් බොන්නට තොටට යනුයේ එම අසපුවෙහි බණ ඇසීම පිණිස අඬ ගෑ ශබ්දය අසා කර දික් කොට උඩුකුරු කළ කන් ඇත්තේ නො ඔසවන ලද දකුණු පය බිම නො තබා ධර්ම කථිකයන් වහන්සේගේ ස්වරයෙහි නිමිති ගෙන සිටියේය. එකෙණෙහි වැදි තෙම ඒ මුවා එක පහරකින් ම විද ජීවිතක්ෂයට පැමිණවීය.