Sunday, November 6, 2016

දෂ්ට විෂය නැඟීලා පුතු මරු මුව සිටිද්දීත් සසර බිය දැඩි කොට බණ ඇසූ මවක්


ලක්දිව රෝහණ (රුහුණු) ජනපදයෙහි මහාග්‍රාමයෙහි භික්ෂු භික්ෂුණීන් සිය ගණනකින් ගැවසුණු රන් රුවන් ආදි වස්තූන්ගෙන් ද සමන්විත, ප්‍රභූ ජනයන්ගෙන් ගැවසුණු, කන්කලු ගී හඬින් නිතර මිනිසුන්ගේ සිත් සතුටු කරවන, දන්දීම් නමැති ක්‍රීඩාවන්හි නියැලුණු, නොයෙක් ජනයාගෙන් හෙබි, තුනුරුවන්ට පූජා කිරීමෙහි නියැලුණු, සැදැහැති කුලයන්ගෙන් ගැවසුණු, ඒ ඒ තැන හැසුරුණු, දහම් සොඬ මිනිසුන් විසින් සාධු නාදයෙන් යුත් මාගම නම් රමණීය එක් ගමක් විය.

ඒ ගමෙහි රජමහ වෙහෙර මැද සුදෝ සුදු පවුරින් වට කරන ලද, මුතු අතුරුවා වැනි සුදු වැලි තලාවෙන් සැරසුණු මළුව මැද, මිහි අඟන මත කරන ලද රිදී ඔටුන්නක් වැනි, සොබා දහමින් අගතැන්පත්, මණිචේතිය (මැණික් වෙහෙර) නම් මහා චෛත්‍යයක් විය. ඒ වෙහෙරෙහි මහා දොරටුව සමීපයෙහි පිළියෙල කරන ලද දහම් මඩුවෙහි නිතර දම් දෙසුම් පවත්වයි. බණ ඇසීමට එක් උවැසියක් තමන්ගේ පුතා ඇඟල්ලෙහි එල්ලා ගෙන අවුත් පිරිස කෙළවර හුන්නී, විපිළිසර නො වී සකසා ධර්මය අසයි. ඉක්බිති ඇගේ පුතා ක්‍රීඩා කරමින් ප්‍රාකාර සමීපයට ගොස් වැලි කෙළියි. ඉක්බිති එක් සර්පයෙක් පවුරු සිදුරෙන් නික්මී ඒ දරුවාට දෂ්ට කොට සැඟවිණ.

ඉක්බිති ඒ ස්ත්‍රී තොමෝ පුතා දෂ්ට කළ සර්පයා දැක කිසිවකුට කියන්නෙම් නම් මගේ ධර්මය ඇසීමට අනතුරක් වන්නේ ය. පුත්‍රයෝ වනාහි දුර්ලභ නො වෙති. බුද්ධෝත්පත්ති කාලයක් දුර්ලභ ය. මිනිසත් බවක් ලබා ගැනීම ද දුර්ලභ ය. දුක සේ ලැබිය යුතු මිනිසත් බවක් ලබා ඇති මා විසින් දුක සේ ලැබිය යුතු බණක් ඇසී ඉතා ම වටිනේ යයි කිසිවකුට සැල නො කොට ධර්මය ම ඇසීය. ඇගේ පුත්‍රයා ද විෂ වේගයෙන් හැඟීම අත්හළේය. එයින් දේශනාව කෙළවරට පත්වූවාට පසු ව උපාසිකා තොමෝ නැගිට, දරුවාගේ සමීපයට ගොස් විෂ වේගයෙන් තද වූ සිරුරක් ඇති පුතා දැක වෙන මන්ත්‍ර හා ඖෂධයන්ගෙන් වැඩක් නැතැයි සත්‍යක්‍රියාවෙන් සිදුකරන ඖෂධය ම ඉතා අගේ යයි පුතාගේ හිස ගෙන සත්‍ය ක්‍රියා කරමින් මෙසේ කීවාය.

යෙන සච්චෙන`හං බුද්ධසරණෙ සුප්පතිට්ඨිතා,
තෙන සච්චෙන මෙ පුත්තො සුඛිතො හොතු නිබ්බිසො.

යෙන සච්චෙන`හං ධම්මසරණෙ සුප්පතිට්ඨිතා,
තෙන සච්චෙන මෙ පුත්තො සුඛිතො හොතු නිබ්බිසො.

යෙන සච්චෙන`හං සඞ්ඝසරණෙ සුප්පතිට්ඨිතා
තෙන සච්චෙන මෙ පුත්තො සුඛිතො හොතු නිබ්බිසො.

යෙන සච්චෙන`හං ධම්මං සුණමානා ඛණම්පි ච,
අනඤ්ඤවිහිතා ආසිං තෙන හඤ්ඤතු කිබ්බිසං.

අක්ඛරං වා පදං වා`පි කථාමග්ගං අහාපයං,
අස්සොසිං පවරං ධම්මං තෙන හඤ්ඤතු කිබ්බිසං.

බුද්ධො නීය්‍යාණිකො ධම්මො සන්දිට්ඨිකමකාලිකො,
තෙන සච්චෙන මෙ පුත්තො සුඛිතො හොතු නිබ්බිසො.

සඞ්ඝො සුප්පටිපන්නො ච චතුමග්ගඵලෙ ඨිතො,
තෙන සච්චෙන මෙ පුත්තො සුඛිතො හොතු නිබ්බිසො.

පඤ්චවස්සසහස්සානි සචෙ තිට්ඨති සාසනං,
තෙන සච්චෙන මෙ පුත්තො සුඛිතො හොතු නිබ්බිසො`ති.

යම් සත්‍ය වචනයක් හේතු කොට ගෙන මම බුදුරජාණන් වහන්සේගේ සරණයෙහි පිහිටියෙම් නම් ඒ සත්‍ය වචනය හේතු කොට ගෙන මාගේ පුත්‍රයා විෂ නැති ව සුවපත් වේවා.! යම් සත්‍ය වචනයක් හේතු කොට ගෙන මම ධර්මයෙහි පිහිටියෙම් නම් ඒ සත්‍ය වචනය හේතු කොට ගෙන මගේ පුත්‍රයා විෂ නැති ව සුවපත් වේවා.!! යම් සත්‍ය වචනයක් හේතු කොට ගෙන මම සංඝයා වහන්සේගේ සරණයෙහි පිහිටියෙම් නම් ඒ සත්‍ය වචනය හේතු කොට ගෙන මගේ පුත්‍රයා විෂ නැත්තෙක් ව සුවපත් වේවා!!!

යම් සත්‍ය වචනයක් හේතු කොට ගෙන මම මොහොතකුදු ධර්මය අසන්නේ විපිළිසර නො වී නම් ඒ සත්‍ය වචනය හේතු කොට ගෙන මගේ පුත්‍රයා ක්‍රෑර විෂ නසීවා. අකුරක් හෝ පදයක් හෝ කථා මාර්ගයක් හෝ අත් නො හැර උතුම් ධර්මය ඇසුවෙමි. ඒ සත්‍ය වචනය හේතු කොට ගෙන ක්‍රෑර විෂ නසීවා.

බුදුරජාණන් වහන්සේ නෛර්යානික ය. ධර්මය තෙම ඉහාත්මයෙහි ම විපාක දෙන්නේ ය. කල් නො යවා ඵල දෙන්නේ ය. ඒ සත්‍ය වචනය හේතු කොට මගේ පුත්‍රයා විෂ නැත්තෙක් ව සුවපත් වේවා. සංඝයා වහන්සේ මනා ව පිළිපන් සේක් සතර මග ඵලයෙහි පිහිටියේ ද, එම සත්‍ය වචනයෙන් මගේ පුත්‍රයා නිර්විෂ වූයේ සුවපත් වේවා. පන් දහසක් අවුරුදු ශාසනය ඉදින් සිටින්නේ ද, එම සත්‍ය වචනය හේතු කොට ගෙන මාගේ පුත්‍රයා විෂ නැත්තෙක් ව සුවපත් වේවා.

ඉක්බිති ඇගේ පුත්‍රයා සත්‍ය ක්‍රියාවගේ කෙළවර සුවපත් ව, නිදුක් ව නිදා පිබිදියෙකු සේ නැගිට, මව් සමීපයෙහි සිටියේය‍් තොමෝ සත්‍ය ක්‍රියාවෙන් පුතා නිරෝගි කොට ගෙන ගෙදර ගොස් එකී සතුටින් ම බොහෝ පින්කම් කොට එයින් චුත වූයේ සර්වගයෙහි ම උපන්නාය.

සුත්වා ධම්මං පමුදිතමනා මාතුගාමා`පි එවං,
උප්පජ්ජිත්වා රමති තිදිවෙ කිබ්බිසං චාපහාති;
සද්ධා බුද්ධිප්පමුඛජනතා සාධු ධම්මෙ චරන්තා,
නිබ්බාණං වා දිවිජමනුජං සම්පදං චානු හොන්ති.

මෙසේ ප්‍රමුදිත සිත් ඇති මාගම ද බණ අසා නපුරු විෂ හෝ දුරු කරන්නේ ය. දිව්‍ය ලෝකයෙහි ඉපිද සිත් අලවා වාසය කෙරේ. ධර්මයෙහි මනා කොට හැසිරෙන්නා වූ ශ්‍රද්ධා බුද්ධිසම්පන්න ජනතාව ධර්මයෙහි හැසිරෙන්නේ දිව්‍ය මනුෂ්‍ය සම්පත් ද නිවන් සැපත් ද අනුභව කරත්.

(රසවාහිනී - ධම්මසුත උපාසිකාවගේ කථාවස්තුව)

No comments:

Post a Comment