Tuesday, November 29, 2016

බුද්ධාවවාදයෙහි පිහිටා සිවුරු හොරෙකුටත් මෙත් වැඩූ හිමිනමක්




සිංහලද්වීපයෙහි වනාහි මහාතළාක නම් වෙහෙරක් විය. එම විහාරයෙහි එක් අභය නම් ස්ථවිර නමක් පර්යාප්තිධර වූයේ ත්‍රිපිටකධාරී වූයේ ග්‍රාමාන්ත සේනාසනය අත්හැර එයට ආසන්නයෙහි ම එක් වන ලැහැබෙක කරන ලද පන්සලක වාසය කරයි. ඒ ස්ථවිරතුමා මෑත භාගයෙහි ආරණ්‍යක මහා අභය ස්ථවිර යයි ප්‍රකට විය. ඉක්බිති එක් කාලයක ඒ උවසුවෙක් උන්වහන්සේ කරා එළැඹ වැඳ බණ අසා පැහැදුණු සිත් ඇත්තේ උන්වහන්සේ යාච්ඥා කොට දොළොස් අවුරුද්දක් සිවුපසයෙන් පිළියම් කෙළේය. හෙතෙම තෙරුන්ට සිවුරු පිණිස කලින් කලට සළු දෙයි. දෙන ලද දෙන ලද සළු ඒ ඇතුළු ගෙහි ම හරන්තික නම් එක් හොරෙක් රාත්‍රියෙහි ම ගොස් ගෙන යයි. ස්ථවිරයන් වහන්සේ දිරුණු සිවුරු ඇත්තේ ම වෙයි. ඉක්බිති එක් දිනක් උපාසක තෙම පන්සලට ගොස් තෙරුන්ගේ දිරාගිය සිවුරු දැක සිවුරු පිණිස සළු දී මෙසේ සිතීය. මා විසින් වනාහි මේ තෙරුන්ට සිවුරු පිණිස බොහෝ සළු දෙන ලදි. සිවුරු කොට නො පොරවා රැස් කිරීමක් හෝ අන් අයකුට දීමක් හෝ නො පැනේ. මෙයට කරුණක් විය යුතු යයි කිට්ටු ස්ථානයක මඟින් ඈත් ව සැඟවී යන්නවුන් හා එන්නවුන් පරීක්ෂා කරමින් සිටියේය.

ඉක්බිති සොරා තෙරුන්ට සළු එළවූ බව දැන එය ගන්නෙමි යි රාත්‍රී කාලයෙහි වෙහෙරට ගොස් සළු ගෙන නැවත එම පාරෙන් ම යයි. ඉක්බිති උපාසක තෙම බඩු සහිත සොරා දැක වේගයෙන් ගොස් හොරාගේ මුදුන ගෙන මෙතෙක් කල් ආර්යයන් වහන්සේට මා විසින් දෙන ලද සළු ගත්තේ ඔබ ම නො වේ දැ යි විචාළේය. එසේ නම් හිමියාණෙනි, ඔව් යයි පිළිගත් කල්හි උපාසක තෙම ඔහුගේ අතින් සිවුරු සඳහා දුන් වස්ත්‍රය ගෙන අත් පාවලින් ඔහුට තළා දුර්වල කොට අමු සොහොනට පමුණුවා මළමිනියක් යටිකුරු කොට හොරාගේ පිටුපස උඩුකුරු කොට හොවා අත් පා පිටිපස බැඳීම දැඩි සේ කොට වෙන වෙන ම කොට දැඩි සේ බැඳ හොවා තමා නා මුලින් ම ගමට පැමිණ, ගම් මැද සිට පින්වත් ගම් වැසියෙනි, මගේ වචනය අසව්. අද රාත්‍රී භාගයෙහි එක් අමනුෂ්‍යයෙක් එයි. හෙතෙම ඔබලාට මහත් විපතක් කරන්නේ ය. නිර්භය ස්ථානයකට පිවිස දොරවල් වසා හිඳිව්. මම අසුවලා වෙමි, අසුවලාගේ නෑයා වෙමි. මිත්‍රයා වෙමි මේ ආදිය කියා කථා කරන්නේ නමුදු ඔහු සමඟ කථාවක් නො කටයුතු යයි උද්ඝෝෂණය කළේය.

ගම්වැස්සෝ මෙය අසා බියට පත් ව ත්‍රස්ත ව දොරවල් වසා ගෙන ඒ ඒ තන්හි සැඟවුණාහ. රාත්‍රියෙහි සොරා මළමිනිය මුදවා ගන්නට නො හැක්කේ ඒ මළ මිනිය සමඟ ම එකට බැඳුණේ තමන්ගේ ගේ දොරකඩට පැමිණ බිරියට ඇමතීය. මම හරන්තික වෙමි. ඕ තොමෝ බියට පත් ව ත්‍රස්ත ව යක්ෂයා යයි කල්පනාවෙන් සැඟවුණේය. සොරා ඇයට නන් අයුරින් අදහවන්නේ නමුදු දොර අරවා ගන්නට නො හැක්කේ එසේ ම මව්පියන්ට ද, නෑ ලේ නෑ හා මිතුරන්ගේ ගෙවලට ගොස් එසේ ම දොර අරවා ගන්නට නො ලැබීය. ගිය ගිය තැන මිනිස්සු අමනුෂ්‍යයා ආවේ යයි කල්පනාවෙන් බියට පැමිණ දොරවල් විවෘත නො කළාහුය.

සොරා සියලු ගම ඇවිද අන් තැනක පිළිසරණක් නො ලබන්නේ තෙරුන්ට පිළිසරණ පිළිසරණ කරගන්නෙමි යි විහාරයට ගොස් ස්වාමීන් වහන්ස, නුඹ වහන්සේගේ දාසයාට පිළිසරණ වෙනු මැනවි. මේ මළ මිනිය මුදා මා සුවපත් කරනු මැනවැ යි ඉල්ලා සිටියේය. තෙරුන් වහන්සේ වෙවුලන සිරුර ඇති ඔහු දැක සිත කම්පාවෙන් වහා මළ මිනිය මුදා දුරට විසි කොට ඔහු උණු දියෙන් නහවා නළෙන් තෙල් ගෙන ඔහුගේ සියලු ශරීරයෙහි ගල්වා ඔහු විසින් තළන ලද ස්ථාන සම්බාහනය කරන්නේ හුන්නේය. රාත්‍රිය පහන් වූ කල්හි උපාසක තෙම සොරා කොහි ගියේ දැ යි විචාරමින් පරීක්ෂා කරන්නේ තෙරුන්ගේ සමීපයට ගොස් ඔහුගේ පිට තෙලින් සම්බාහනය කරන බව දැක තෙරුන් සමඟ කථා කරමින් මෙසේ කීයේය.

"එසො මය්හං සහායොති උපකාරං කරොති යො,
න තං සො සරතෙ චොරො නත්ථි චොරෙ සහායතා;
ඛාදන්තො`පි පිවන්තො`පි සයන්තො`පි ච එකතො,
න ජහාතත්තනො ධම්මං නත්ථි චොරෙ සහායතා.
මුඛෙනෙකං ලපෙ චොරො කායෙනෙකං කරොති සො,
ලද්ධොකාසො හරන්තොව නත්ථි චොරෙ සහායතා;
මාතා පිතා ච බන්ධූ ච දිස්වා චොරං සහායකා,
දූරතො පරිවජ්ජෙන්ති කඞ්ඛන්ති සඞ්ගමෙ සදා."

හෙතෙම මගේ යහළුවෙකැ යි කියා ද, හෙතෙම උපකාරය කළේ යයි කියා ද ඒ සොර තෙම ඒ උපකාරය සිහි නො කරන්නේ ය. එනිසා සොරා කෙරෙහි යහළු බවක් නැත. එකතු ව කන්නේ ද, බොන්නේ ද, සයනය කරන්නේ ද, තමන්ගේ ළාමක බව අත් නො හරී. එනිසා සොරා කෙරෙහි යහළු බවක් නැත. සොර තෙම මුඛයෙන් එකක් කියන්නේ ය; කයින් එකක් කෙරේ ද, හෙතෙම ලබන ලද අවකාශ ඇත්තේ පැහැර ගන්නේ ම ය. සොරා කෙරෙහි යහළු බවක් නැත්තේ ම ය. මව්පියෝ ද, නෑයෝ ද, යහළුවෝ ද සොරා දැක දුරින් ම දුරු කෙරෙත්. හැම කල්හි ම යහපත් සමාගමෙහි සැක කරත්.

මෙසේ ද කියා ස්වාමීනි, මෙබඳු අනුන්ගේ දේ සොරකම් කරන මිත්‍ර ද්‍රෝහියෙකුට උපකාර නො කරව්. පලවා හරිනු මැනව යි කීයේය. ඉක්බිති ඔහුට අවවාද කරන්නේ ස්ථවිරතුමා මෙසේ කීවේය.

"යො සො යස්ස ඩසෙ පාදං තස්ස පාදං න සො ඩසෙ,
එවමෙව හි දුට්ඨස්ස අදොසොව පසංසිතො.
අකතඤ්ඤුස්ස පොසස්ස මෙත්ති යො න කරිස්සති,
කස්ස මෙත්තිං හි සො කයිරා තමාහු චරියං බුධා."

යම් බල්ලෙක් යමෙකුගේ පාදය දෂ්ට කෙළේ ද, ඒ පුරුෂ තෙම ඔහුගේ පාදය කඩා නො කන්නේ ය. එපරිද්දෙන් අසත්පුරුෂයාට ද්වේෂ නො කිරීම ම ප්‍රශංසා කරන ලද්දේය. යමෙක් කෙළෙහි ගුණ නො දන්නා පුරුෂයාට මෛත්‍රිය නො කරන්නේ නම් හෙතෙම කවරකු හට මෛත්‍රිය කරන්නේ ද, එය අතිශය උතුම් චර්යාව යයි පණ්ඩිතයෝ කීහ.

මෙසේ ද කියා පින්වත, මොහු කෙරෙහි සි දූෂණය නො කරන්න. තමා විසින් කරන ලද කර්මයාගේ විපාකය ඔහු විසින් ලබන ලද්දේ යයි කියා උපාසකයා යැවීය. එයින් පසු හරන්තිකයා කීප දිනකින් ලබන ලද ශක්තිය ඇත්තේ තෙරුන් සමීපයට පැමිණ වැඳ, ස්වාමීනි, මම මේ ජීවිතයෙහි දී ම අනිකෙකු මෙන් විය. නැවත ගිහිගෙයි වසන්නට නො හැක්කෙමි. අනුකම්පා කොට මා පැවිදි කරනු මැනවි. ස්වාමීනි, පැවිද්ද ඉල්ලීය. ඉක්බිති ස්ථවිරතුමා ඔහු පැවිදි කොට උපසම්පදා කෙළේය. හෙතෙම වත් පිළිවෙත්හි දක්ෂ වූයේ භාවනාව වඩන්නේ නො බෝ කලකින් ම රහත් බවට පැමිණ හරන්තික ස්ථවිර යයි ප්‍රකට විය.

"පාපො හුත්වා පඨම සමයෙ පඤ්චකාමානුගිද්ධො
යො වෙ පච්ඡා පජහති මදං යොනිසො ලොකයන්තො,
සොපායම්භො තිභවවිභවං කාමමාසාදයිත්වා
නිබ්බාණග්ගං සිවමමතපුරං යාති සත්ථුප්පසත්ථං."

යමෙක් පළමුවැනි වයසෙහි පස්කම් සැපෙහි ගිජු වූ පවිටෙක් වී, පසු ව නුවණින් සලකමින් ත්‍රිවිධ මදය ඒකාන්තයෙන් අතහරී. පින්වත්නි, එසේ වූ උත්තම තෙමේ තුන් වැදෑරුම් භව සම්පත්තිය කැමැති පරිද්දෙන් ආස්වාදනය කොට බුදුරජාණන් වහන්සේ විසින් පසස්නා ලද අග්‍ර වූ ශාන්ත වූ නිර්වාණ නමැති අමා පුරයට යන්නේ ය.

(රසවාහිනී - ආරඤ්ඤක අභය මහා ස්ථවිරයන් වහන්සේගේ කථාවස්තුව)


No comments:

Post a Comment