Sunday, November 6, 2016

ධර්මශ්‍රවණයේ හා සත්‍යක්‍රියාවේ ආනුභාව බලයෙන් උග්‍ර සර්ප විෂ බැස්සූ හිමිනමක්



සිංහලද්වීපයෙහි මාගම නොයෙක් සිය ගණන් භික්ෂූන් වහන්සේ වාසය කරන මහාවාපි නම් වෙහෙරක් වීය. එකල එහි අවුරුදු පතා ආර්යවංශ ධර්ම දේශනාව පවත්වන්නේය. දුර සිට ම බොහෝ මිනිස්සු පැමිණෙති. මහාජන සමාගමය වෙයි. එකල්හි කුඩ්ඩරජ්ජ විහාරවාසී එක් මහ තෙරනමක් මමත් අරියවංස ධර්මය ශ්‍රවණය කරමි යි එහි ගොස් අවකාසයක් නො ලැබ, මහ පිරිස් කෙළවර මළුවෙන් පිටත තණ පඳුරෙන් යුත් අවකාශ ස්ථානයක් ලැබුවේය. හෙතෙම එහි සිට මුළු රාත්‍රියෙහි ඒ ධර්මය අසමින් සොම්නසට පත්වූයේ, ලොමු ඩැහැගත් සිරුර ඇත්තේ විය. ඒ තණ පඳුරෙහි එක් පොළඟෙක් වසයි. ඉක්බිති හෙතෙම එයින් නික්මී තෙරුන්ගේ කුකුල් අතරට පිවිසුනේ දළ හතරක් ඔබා පිටි පිඩ දෂ්ට කළේය. තෙරුන් වහන්සේ ඒ කරුණ දැනගෙන ඉදින් මම මෙතැනින් පහවෙම් ද, බණ ඇසීමට අනතුරක් වන්නේ යයි අත බහා සර්පයාගේ ශීර්ෂය දැඩි කොට ගෙන වහන් පසුම්බියෙහි බහා කට බැඳ එක් පසෙක තබා ධර්මය ඇසුවේය.


ධර්ම ශ්‍රවණයෙහි ආනුභාවයෙන් උන්වහන්සේගේ සිරුරෙහි විෂ නො පැතුරුණේය. ඉක්බිති අරුණ උදා වූ කල්හි මිනිසුන් ගිය කල්හි ස්ථවිරතුමා මා විසින් සර්පයෙක් අල්ලා ගන්නා ලද්දේ යයි සර්පයා දැක්වීය. කොයි වේලාවෙහි ඔබ විසින් සර්පයා ගන්නා ලද්දේ දැ යි භික්ෂූන් වහන්සේ විසින් විචාරණ ලද්දේ නිදාන කථාව ඇරැඹි කල්හි ම යයි කීවේය. භික්ෂූහු, ස්වාමීනි පුදුමයි. මෙබඳු ඝෝර වූ සර්පයෙකු විසින් දෂ්ට කරන ලද්දේ නමුදු විෂ වේගයෙන් විපිළිසර නො වී ධර්මශ්‍රවණය කරන ඔබ විසින් කරන ලද්දේ යයි කීවාහුය. ඉක්බිති එම්බා ඇවැත්නි, විෂ මාගේ ශරීරයෙහි ඉතිරි වීය. ඒ විෂ සත්‍ය ක්‍රියා බලයෙන් අත්හැර වන්නෙමි යි සත්‍ය ක්‍රියාව කරමින් මෙසේ කීවේය.

ධම්මං මයා ලොකහිතස්ස තස්ස
සුභාසිතං සුස්සුතමජ්ජ යස්මා,
සච්චෙන මෙ තෙන විසං විනාසං
පයාතු ආපො විය පොක්ඛරස්මා.

පදක්ඛරං තස්ස න නාසයන්තො
අත්ථඤ්ච ධම්මං මනසීකරොනතො,
යස්මා සුතං තෙන විසං විනාසං
පයාතු තොයං විය පොක්ඛරස්මා.

ගුණානුභාවා පණිධානතො වා
ජිනස්ස තෙනෙව සුදෙසිතෙන,
ධම්මානුභාවෙන`පි සඞ්ඝතෙජො
විසං විනාසං සමුපෙතු ඛිප්පන්ති.

යම් හෙයකින් අද මා විසින් ලොවට හිත වූ ඒ බුදුරදුන්ගේ යහපත් කොට දේශනා කරන ලද්දා වූ ධර්මය මනාව අසන ලද්දේ ද, ඒ සත්‍ය කරණ කොට ගෙන පොකුරු පත කෙරෙන් පහව යන ජලය මෙන් මාගේ විෂය විනාසයට යේවා. යම් හෙයකින් ඒ ධර්මයාගේ පදයක් හෝ අකුරක් නො නසන්නේ අර්ථය ද මෙනෙහි කරන්නේ ධර්මය අසන ලද්දේ ද, ඒ කරණ කොට නෙළුම් කොළයක ජලය මෙන් විෂ විනාශයට යේවා. ප්‍රණිධානයෙහි පටන් බුදුරජාණන් වහන්සේගේ ගුණානුභාවයෙන් ද, ඒ බුදුරජාණන් වහන්සේ විසින් ම මනා ව දේශනා කරන ලද ධර්මයේ ආනුභාවයෙන් ද, සංඝයාගේ තේජසින් ද විෂ වහා විනාශයට පැමිණේවා.

ඉක්බිති උන්වහන්සේගේ සත්‍ය ක්‍රියාවගේ කෙළවර නෙළුම් පතකින් දිය බින්දුන් මෙන් විෂ පෙරළී පොළොවට පිවිසියේය. ඉක්බිති හෙතෙම විෂ රහිත ව සතුටු වූයේ භික්ෂූන් වහන්සේට ස්තුති කරමින් ධර්මයාගේ ආනුභාවය ප්‍රකට කරමින් කරමින් මෙසේ කීහ.

ධම්මො පනෙ`සො සුගතප්පසත්ථො
තරොව සංසාරමහණ්ණවස්ස,
බ්‍රහ්මසුරාදීහි නමස්සනිය්‍යො
රසො රසානං පරමො තිලොකෙ.

මහා ගදො මච්චු ජරා පහාණො
සබ්බීති නාසාය විසෙසමන්තො,
සබ්බත්ථ දානෙන ච කප්පරුක්ඛො
චින්තාමණී භද්දඝටොව ධම්මො.

ධම්මං විනා නත්ථි පිතා ච මාතා
තමෙව තාණං සරණං පතිට්ඨා,
තස්මා හි භො, කිච්චමඤ්ඤප්පහාය
සුණාථ ධාරෙථ චරාථ ධම්මෙ`ති.

මේ ධර්මය වනාහි බුදුරජාණන් වහන්සේ විසින් පවසන ලදි. සංසාර නමැති සාගරයෙන් එතෙර වීමට මහ නැවක් වැන්න. බ්‍රහ්මසුරාසුරයන් විසින් වැන්ද යුතුය. තුන් ලොවට ඇති රස අතර උතුම් වූ රසය වේ. ධර්මය තෙම ජරාමරණ පහ කරන්නා වූ මහෞෂධයක් ය. සියලු උවදුරු නැසීමට දිව්‍යමන්ත්‍රයක් බඳු ය. හැම තන්හි ම කැමැති වස්තුව දෙන හෙයින් කල්ප වෘක්ෂයක් වැන්න. භද්‍රඝටයක් මෙන් ද වන්නේ ය. ධර්මයෙන් තොර මව්පිය කෙනෙක් නැත. එම ධර්මයට රක්ෂස්ථානය සරණ ය; පිහිට ය. පින්වත්නි, එහෙයින් අනික් කටයුතු හැර ධර්මයෙහි හැසිරෙව්. ධර්මය ම අසව්. දරව්.

මෙසේ හෙතෙම සද්ධර්මයට ස්තුති කිරීමෙන් භික්ෂූන් වහන්සේට අවවාද කොට තමන්ගේ ස්ථානයට ම ගොස් බොහෝ කලක් වාසය කොට ආයුෂ කෙළවර ස්වර්ගයෙහි උපදින්නේ ය. මෙසේ පින්වත්නි, ඒ මහණ තෙම පිනා ගිය සිත් ඇත්තේ, ධර්මය අසා ඒ ධර්මයාගේ ආනුභාවයෙන් ඉතා දැඩි වූ විෂය නීරෝගී බවට පැමිණවූයේ ය. පින්වත්නි, අනික් කටයුතු හැර ධර්මය භජනය කරව්. ඒ ධර්මය තොපට ඒකාන්තයෙන් ස්වර්ගයෙහි විභව සම්පත්තිය ද, මෝක්ෂ මාර්ගය ද දෙන්නේය.


රසවාහිනී - කුඩ්ඩරජ්ජවාසී හෙවත් කුඩා රටවැසි තෙරුන් වහන්සේගේ කථාවස්තුව)

No comments:

Post a Comment