Sunday, November 6, 2016

ධර්මශ්‍රවණයේ බලයෙන් කර අග දී ම රහත් බව ලත් පෙර භවයේ මුව පොව්වෙක්


සිංහලද්වීපයෙහි වනාහි උද්දලොලක විහාර (උදල් කුළු වෙහෙර) නම් රමණීය එක් විහාරයක් වී ය. එකල්හි විහාරයට නුදුරු සමීප වනයෙහි බොහෝ මුව ඌරෝ වාසය කරති. ඉක්බිති එක් ගමෙක වැදි පුත්‍රයෙක් එහි බොහෝ ඌරන් මුවන් දැක එක් දිනක් එකපසෙක්හි කොටුපතක් කොට වන කෙළවර පත් එලා, දුනු හී ගෙන මුවන්ගේ පැමිණීම බලමින් කොටුවෙහි සිටියේය. ඉක්බිති එක් මුවෙක් එහි ගොදුරු ගෙන පැන් බොන්නට තොටට යනුයේ එම අසපුවෙහි බණ ඇසීම පිණිස අඬ ගෑ ශබ්දය අසා කර දික් කොට උඩුකුරු කළ කන් ඇත්තේ නො ඔසවන ලද දකුණු පය බිම නො තබා ධර්ම කථිකයන් වහන්සේගේ ස්වරයෙහි නිමිති ගෙන සිටියේය. එකෙණෙහි වැදි තෙම ඒ මුවා එක පහරකින් ම විද ජීවිතක්ෂයට පැමිණවීය.

ඉක්බිති ඒ මුවා කලුරිය කොට එම වෙහෙර වැසි මහා අභය ස්ථවිරයන්ගේ නැගණියගේ කුසෙහි පිළිසිඳ ගෙන දසඩමස් ඇවෑමෙන් මව්කුසින් නික්මී ක්‍රමයෙන් වැඩෙන්නේ, සත්වයස් ඇත්තෙක් විය. එයින් ඒ කුමරා මව්පියවරු අභය තෙරුන්ගේ සමීපයට ගෙන ගියහ. ඒ කුමාරයා පෙර මුව දිවියෙහි දී තමා විසින් කරන ලද ධර්ම ශ්‍රවණයෙහි ආනුභාවයෙන් කර අග දී ම (කෙස් කපන වේලෙහි ම) රහත් බවට පැමිණියේය. ඔහුගේ මයිලණුවන් වන ස්ථවිරයන් වහන්සේ අවබෝධ කළ අෂ්ටසමාපත්ති ඇත්තෝ නො පැමිණි රහත් මග ඵල ඇත්තේ වෙයි. ඉක්බිති එක් දිනක සාමණේර තෙම උදෑසන ම උපාධ්‍යයන් වහන්සේගේ සමීපයට ගියේය. ඉක්බිති සාමණේරයන්ගේ ගුරුවරයා අත වඩා අතින් සඳමඬල පිරිමදිමින් සිටියේය. සාමණේර තෙම එය දැක හිමියනි, මෙය රකින්නට වටී යයි කීයේය. ස්ථවිරතුමා ඔහු අග්‍ර ඵලය වූ රහත් බවෙහි පිහිටි බව නො දත්තේ ඔහුගේ වචනය මනා කොට මෙනෙහි නො කළේ ය. ඉක්බිති සාමණේර තෙම ඍද්ධියෙන් දහසක් චන්ද්‍රයන් ගෙන හැර පා තෙරුන්ට දක්වා ස්වාමීනි, චන්ද්‍රයන් සියගණනක් හෝ දහස් ගණනක් හෝ ගෙන හැර පෑම අමාරු නො වේ. යමෙක් වනාහි එක ම තෘෂ්ණාව අත්හරී ද එය ම ශ්‍රේෂ්ඨ යයි, එය ම වැදගත් යයි කියා මෙසේ කීයේය.

යො ගන්ත්වා පුරිසො දිස්වා තීරට්ඨොව මහම්බුධිං,
සමුද්දො`යං මයා දිට්ඨො භාසතෙව අපඤ්ඤවා.

එවමෙවිධ යො භික්ඛු කිලෙසෙ කෙචි අත්තනි,
වික්ඛම්හෙත්වානභිඤ්ඤාණ බලං ලද්ධාන අද්ධුවං.

අප්පහන්ත්වා කිලෙසානං ලද්ධත්ථො`ස්මි`ති මඤ්ඤෙති,
තණ්හාදාසව්‍යථො හොති අමුත්තොයෙව වත්තති.

අලක්ඛිං අසිවං භීමං අනපායිං අනත්ථදං,
යො තණ්හං පජහෙ භික්ඛු සො මුත්තො මාරබන්ධනා`ති.

යම් නුවණ නැති මිනිසෙක් සාගරය ළඟට ගොස් ඉවුරෙහි සිට ම සාගරය දැක, මා විසින් මේ මහමුහුද දක්නා ලද්දෙමැ යි කියන්නේ ද, එපරිද්දෙන් ම මේ ශාසනයෙහි යම් භික්ෂුවක් ස්ථිර නැති පඤ්චාභිඥාවන්ගේ බලය ලැබ තමා කෙරෙහි කිසියම් ක්ලේශයක් සංසිඳුවාගෙන, කෙලෙස් ප්‍රමාණයට නො පැමිණ, ලබන ලද අර්හත් ඵලය ඇත්තෙමි යි සිතන්නේ ද, හෙතෙම තෘෂ්ණා නමැති දාසකමින් යුක්ත වූයේ නො මිදීම පවතී. යම් භික්ෂුවක් ඉලක්කයක් නොමැති ව ක්ෂේම නො වූ, බියජනක වූ, අත හැර නො යන්නා වූ, අනර්ථදායක වූ තෘෂ්ණාව දුරු කෙරේ ද, ඒ භික්ෂුව මාර බැඳුම්වලින් මිදුණේ වෙයි.

මෙය අසා ස්ථවිරයන් වහන්සේ විදර්ශනා භාවනා කොට එදින ම රහත් බවට පැමිණියේ ය. ඉක්බිති දෙවැනි දිනයෙහි තෙරුන්ගේ නැගණියෝ සාමණේරයන් වහන්සේ සමඟ තෙරුන්ට ආරාධනාවක් කළා ය. තෙරුන් වහන්සේ සොයුරියට මෙසේ කී සේක. උපාසිකාව, තී විසින් අද බොහෝ භික්ෂූන් වහන්සේ දැක සිත පැහැදිය යුතු ය. ආහාර කොටස වනාහි ඒ දෙදෙනාට පමණක් වේවා යි ඇය යවා පෙරවරු සමයෙහි හැඳ පොරවා ගෙන පා සිවුරු ගෙන තිස් දහසක් භික්ෂූන් සමඟ ගියේ ය. ඕ තොමෝ එය දැක මාමාට හා බෑනාට පමණක් අසුන් පැනැවීය. ඒ ආසනා උන්වහන්සේලාගේ ආනුභාවයෙන් තිස් දහසක් පමණ වූහ. උන්වහන්සේලාගේ ආනුභාවයෙන් ඇයගේ ගෙය ද විශාල විය. භික්ෂූන් වහන්සේ පැමිණි අසුන්වල වැඩඋන්හ. ඒ දෙදෙනාට පිළියෙල කරන ලද සූප ව්‍යඤ්ජනාදිය තිස් දහසක් පමණ භික්ෂූන්ට සෑහීමට පත්විය. වළඳා අවසානයෙහි උපාසිකා තොමෝ භුත්තානුමෝදනා ධර්මය ඇසීමට සාමණේරයන් වහන්සේගේ පාත්‍රය ගත්තාය. ඒ සාමණේරයන් වහන්සේ ද උන්වහන්සේලා මැද අභිවෘද්ධිය වඩවමින් මිහිරි වදන් නික්මවමින් ධර්මය දේශනා කළ සේක. ධර්ම දේශානවගේ කෙළවර මව්පියන් මුල් කොට කුල පන්සියයක් සෝවාන් ඵලයෙහි පිහිටෙව්වාහුය. බොහෝ දෙනාට මේ දේශනා තොමෝ සාර්ථක වූවාය.

දෙසෙන්තෙ`වං විපිනජමිගා සද්දමත්තෙ නිමිත්තං
ලද්ධා ධම්මං මනුජවිභවං චාපවග්ගං ලභන්තී,
සද්ධං බුද්ධෙ විහිතමතිමා සාධු සුත්වාන ධම්මං
කිං නො සග්ගෙ රමති මුනිනා වණ්ණනීයෙ විමානෙ`ති.

මෙසේ වනයෙහි උපන්නා වූ මුවෝ ධර්මය දේශනා කරන කල්හි ශබ්දයෙහි පමණක් නිමිති ලැබ, මිනිස් ලොව සැපත් ද, නිර්වාණ සම්පත්තිය ද ලබත්. බුද්ධාදී රත්නත්‍රයෙහි ශ්‍රද්ධාව පිහිටුවනු ලබන බුද්ධිමතා ධර්මය යහපත් කොට අසා බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කටයුතු වූ දිව්‍ය විමන්හි කවර කාරණයකින් සිත් අලවා වාසය නො කෙරේ ද? ඇලේමැ ය.


(රසවාහිනී - මිගපෝතක කථාවස්තුව)

No comments:

Post a Comment